Thursday, July 06, 2017

කරපිංචා ගැන නොදත් තතු


විස රසායන උරාගන්නා හොද්දේ කරපිංචා කෑම හොඳ නෑ.

වර්තමානයේදී ලාංකීය සමාජය තුළ පිළිකා, වකුගඩු ආදි රෝගාබාධවලට ගොදුරු වූවන් බහුල වී ඇත. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අප ගන්නා ආහාරවල තිබෙන වස විස ඉහත රෝග බහුල වීමට හේතු වී ඇති බවය. එය බොහෝ දුරට සැබෑවක් විය හැකිය. අද අපට වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ අධික ලෙස කාමිනාශක, වල් නාශක යෙදු එළවළු සහ පලතුරුය.

වස විස නොයෙදූ ආහාර ලෙස කෑමට තිබෙන්නේ කොස් දෙල් වැනි දේ පමණි.

වස විස නැතැයි පැවසෙන කාබනික පොහොර යොදා සැකසූ එළවළු වර්ග වෙළෙඳ පොළෙහි නැතිවා නොවේ. එහෙත් ඒවායේ මිල අධිකය. කෙසේ හෝ අද අප සමාජයේ බහුතරයකට කෑමට සිදු වී තිබෙන්නේ වස විස යෙදූ ආහාරය.

වස විසෙන් තොරව ආහාර ද්‍රව්‍ය වගා කරන්නේ කෙසේ ද? එසේම වස විස පහව යන පරිදි ආහාර ද්‍රව්‍ය පිළියෙල කරගන්නේ කෙසේ ද කියා අපේ මුතුන් මිත්තෝ ඉතා හොඳින් දැන සිටියහ. එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ ද වස විසෙන් තොරව ආහාර පිළියෙල කරගන්නේ කෙසේදැයි සඳහන් වේ. ස්වභාවික ද්‍රව්‍ය වන කුළුබඩු යොදා පෝෂ්‍යදායි විස රහිත ආහාර පිළියෙල කිරීමේ සංස්කෘතියක් අප සතුය. සිංහල වෛද්‍ය ක්‍රමයේ ද ආහාර පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා කුළුබඩුවල තිබෙන වටිනාකම මනා ලෙස සඳහන් කර තිබේ. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කුළුබඩු අයත් වන්නේ “ආහාර යෝගී” ද්‍රව්‍ය ගණයටය. සිංහල වෙදකම පිළිබඳව විස්තර වන “චරක සංහිතාව” නම් ග්‍රන්ථයේ ආහාර වර්ග 11 ක් පිළිබඳව සඳහන් වේ. ඒ ශාක වර්ගය, ඵල වර්ගය, හරිත වර්ගය, ආහාර යෝගී වර්ගය.... ආදි වශයෙනි. මේ අතරින් කුළුබඩු අයත් වන්නේ ආහාර යෝගී වර්ගයටය.

කරපිංචා - මේද හරණී ගුණය

අපේ කුළුබඩු මුළු මහත් ලෝකයෙහිම ප්‍රසිද්ධය. අප භාවිත කරන කුළුබඩු අතරට ද්‍රව්‍ය ගණනාවක්ම අයත් වේ. කරපිංචා සහ රම්පෙ එලෙස කුළුබඩු අතරට අයත් වන ආහාර යෝගී ද්‍රව්‍යයන් දෙවර්ගයකි. කරපිංචා සහ රම්පෙ වර්තමානයේදී බොහෝ සේ කතාබහට ලක්වන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම කරපිංචා පිළිබඳව. ඒ කරපිංචා සතු විස නැසීමේ ගුණය සහ කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් අඩු කිරීමේ ගුණය පිළිබඳවය.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙය හඳුන්වනු ලබන්නේ මේද හරනී ගුණය ලෙසය. ඒ සඳහා බහුලව භාවිත වන්නේ කරපිංචා කොළ කැඳය. කරපිංචා කොළවලින් සාදාගන්නා කැඳ පානය කළ නොහැකි නම් වෙනත් ඖෂධීය කොළ වර්ගයකින් කැඳ සාදන විට කරපිංචා කොළ යම් ප්‍රමාණයක් එයට එක්කර කොළ කැඳ සාදා ගත හැකිය. එසේම කරපිංචා, සුදු ලූනු, ගොරකා, උළුහාල් සහ කුරුඳු ස්වල්පයක් ගෙන දියෙන් අඹරා සාදාගන්නා මිශ්‍රණය ලුණු දෙහි වැනි ආහාර රුචිය වඩවන උත්තේජකයක් ලෙස ද යොදා ගත හැකිය.

රුධිර කැටි ගැසීම වළකයි

කටුක රසයෙන් යුතු කුරුඳු කරපිංචා වැනි කුළුබඩුවල ශරීරයේ රුධිර කැටි ඇතිවීම වැළැක්වීමේ ගුණය ඇති බව මීට වසර හයදහසකට පමණ පෙර පටන් අපේ මුතුන්මිත්තන් දැන සිටි බව චරක සංහිතාවනම් දේශීය වෙදකම පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයේ සඳහන් වේ.

කරපිංචා සම්බෝලය

සර්පයකු දෂ්ට කළ විට අපේ පැරැණියන් දුන්නේ කරපිංචා කැඳය. කරපිංචා කැඳ සාදා ගන්නේ කරපිංචා කොළ යම් ප්‍රමාණයකට සහල් සහ පොල් කිරි මිශ්‍ර කර පිළියෙල කර ගැනීමෙනි. අද ද සර්පයකු දෂ්ට කළ විට කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු විස නැසීමේ මහගු ගුණය හේතුවෙනි. එසේම භූමිතෙල් වැනි ශරීරයට විස ගෙන දෙන ද්‍රව්‍යයන් ශරීරගත වූ විට ද කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු එම විස නැසීමේ ගුණය නිසාය. කරපිංචාවලින් සාදා ගන්නා සම්බෝලය ශරීරයට ඉතා ගුණ දෙන කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි.

විස නසන ඇඹුල් තියල්

ගොඩබිම තිබෙන විස සියල්ල අවසානයේදී ගමන් කරන්නේ මහ මුහුදටය. එම විස, මුහුදෙන් අල්ලාගන්නා මාළුන් තුළ ද යම් පමණකට ඇත. මාළු ඇඹුල් තියල් ලෙස සකසන්නේ මාළුවල තිබෙන එම විස ඉවත් කිරීමටය. ඇඹුල් තියල් මිශ්‍රණයට ගොරකා, ගම්මිරිස් මෙන්ම කරපිංචා ද අයත් වේ. ඇතැමුන් ඇඹුල් තියල් මිශ්‍රණය දැවටු මාළු කැබලි වළඳෙහි තබන්නේ කරපිංචා කොළ තට්ටුවක් උඩින්ය. එලෙස සකසන ලද මාළුවල තිබෙන ඇඹුල් තියල් මිශ්‍රණය ඉවත් කර මාළු කැබලි ආහාරයට ගත හැකිය. මෙහිදී ද භාවිත වන්නේ කරපිංචා සතු විස නැසීමේ ගුණයයි.

කරපිංචා සතු මහඟු ගුණ එසේ වුවද ව්‍යංජනවල තිබෙන කරපිංචා කොළ ආහාරයට ගැනීම පිළිබඳව දෙවරක් සිතිය යුතු බවට නවතම මතයක් සමාජයේ ඇතිවී ඇත. ඒ පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වන්නේ කෘෂි රසායන යොදා වගා කරන ලද එළවළු ආහාර ලෙස පිළියෙල කිරීමේදී කරපිංචා යොදාගත් විට එම එළවළුවල තිබෙන විස ද්‍රව්‍ය කරපිංචා කොළවලට උරාගත හැකි බවය. මෙම තත්ත්වය වඩාත් බරපතළ සහ භයානක වන්නේ එළවළුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා එළවළු නෙළීමට දවසකට පමණ පෙර ඇතැම් ගොවීන් කෘමිනාශක යෙදීමට පෙලඹී ඇති නිසාය. එබැවින් ගෙවත්තෙන් නෙළාගන්නා එළවළු පිළියෙල කරගන්නා අවස්ථාවලදී හැර ව්‍යංජනයේ තිබෙන කරපිංචා ආහාරයට නොගැනීම වඩාත් සුදුසුය. එහෙත් නිවෙසේදී සාදාගන්නා ලද කිරි හොද්දේ තිබෙන කරපිංචා කොළය කිසිසේත්ම විසි කළ යුතු නැත.

ආහාර සුවඳවත් කිරීමට යොදාගන්නා රම්පෙ පිළිබඳව ද එවැනිම මතයක් ඉදිරිපත් වී ඇත. රම්පෙ යොදා ගන්නේ කිසියම් ආහාරයකින් ප්‍රසන්න සුවඳක් ලබා ගැනීමටය. බොහෝ ගෘහිණියෝ බත පිසීමේදී රම්පෙ කොළ කැබැල්ලක් බතට එක් කිරීමට පුරුදුව සිටිති. එයින් බතට ප්‍රිය උපදවන සුවඳක් ලැබේ. ඇතැම් ව්‍යංජන පිසීමේදී ද රම්පෙ කොළ කැබැල්ලක් යොදා ගැනීමට ගෘහිණියෝ පුරුදු වී සිටිති. ව්‍යංජනයක් පිසීමේදී අධික උෂ්ණත්වයට පත්වූ විට එහි කිසියම් විසක් තිබේ නම් එම විස ද්‍රව්‍ය ක්‍රියාකාරී වී රම්පෙ කැබැල්ලට උරා ගැනීමේ හැකියාවක් ඇත. වඩාත් සුදුසු වන්නේ ව්‍යංජනය ළිපෙන් බා ගත් පසුව රම්පෙ කැබැල්ල ඉවත් කිරීමය. එසේ නොවුණහොත් රම්පෙ කැබැල්ලේ තිබෙන විස ද්‍රව්‍යයන් නැවත ව්‍යංජනයට එක්විය හැකිය.

විස නසන මුරුංගා කොළ

මුරුංගා කොළ සතුව ද විස නැසීමේ ගුණයක් ඇත. ඉස්සන් පිසින විට මුරුංගා දළු ස්වල්පයක් යොදා ගන්නේ එබැවිනි. මුරුංගාවල කැල්සියම් බහුලය. කැල්සියම් අපේ ශරීරයට ඉතා අවශ්‍ය වන පෝෂක ද්‍රව්‍යයකි. එහෙත් මුරුංගා කොළවලින් කොළ කැඳ සාදා බීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම මුරුංගා කොළ කැඳවල තිබෙන රසායන ද්‍රව්‍ය කුඩා දරුවනට දරා ගත නොහැකිය. මුරුංගා කොළ කැඳ පානය කළ දරුවන් කීප දෙනෙකු වෙතින් ඔක්කාරය සහ තවත් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ එබැවිනි. මුරුංගා කොළ සහ දළු ආහාර පිසීමේදී යොදා ගැනීම වරදක් නොවුවද මුරුංගා කොළවලින් කොළ කැඳ සාදා පානය කිරීම එතරම් සුදුසු නැත. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද මුරුංගා කොළ කැඳ පිළිබඳව සඳහන් නොවන්නේ එබැවිනි.

නෙළුම් අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම පිළිබඳව ද අද විවිධ මත සමාජයේ ඇත. වර්තමානයේදී කුඹුරට යොදන විස රසායන ද්‍රව්‍ය වැවේ තිබෙන නෙළුම් ගසට උරා ගැනීමක් සිදු වේ. වෙළෙඳ පොළෙහි තිබෙන නෙළුම් අලය නි‍ෙවසට ගෙනැවිත් කෙළින්ම ව්‍යංජනයක් ලෙස සකසා ගත් විට නෙළුම් අලවල තිබෙන විස ද්‍රව්‍ය ශරීරගත විය හැකිය.

අපේ මුතුන් මිත්තන් නෙළුම් අල ව්‍යංජනය සැකසීමේදී විශේෂ ක්‍රමයක් අනුගමනය කළේ නෙළුම් අලවල ඇති විස ද්‍රව්‍ය ඉවත් කිරීමටය. ඔවුන් නෙළුම් අල ව්‍යංජනය සැකසුවේ මේ ආකාරයටය.

පළමුව නෙළුම් අල සිහින් පෙති ලෙස කපාගෙන කැකුළු සහල් මිටක් සහ ජලය දමා තම්බා ගනු ලැබේ. එහිදී කැකුළු සහල් සමඟ ඇති ජලයට නෙළුම් අලවල තිබෙන විස ද්‍රව්‍ය සහ බැර ලෝහ උරා ගනී. ඉන් පසු නෙළුම් අල කැබලි වෙන් කරගෙන කිරි දමා ව්‍යංජනය සකසා ගත හැකිය.

උ.ගැ

No comments: